2016 දෙසැම්බර් 24 වන සෙනසුරාදා

යහපාලනය දැන් අපට සැපද?

 2016 දෙසැම්බර් 24 වන සෙනසුරාදා, පෙ.ව. 12:00 104

 

නීතියේ ආධිපත්‍යය තහවුරු කොට රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම හා වංචා දූෂණ, අක්‍රමිකතාවන් නාස්තිය මුලිනුපුටා යහපාලනය තුළින් රටේ ජනතාවගේ සමෘද්ධිය සලසා දීමට පොරොන්දු දී බලයට පත් යහපාලන බලවතුන් මේ වනවිට කටයුතු කරමින් සිටින්නේ දෙන ලද පොරොන්දු ප්‍රකාරව ජනතාවගේ සමෘද්ධිය උදෙසා නොවන බැව් පොදු ජනතාව මැනවින් තේරුම් ගෙන සිටිති. රට තිබෙන්නේ බලවත් අර්බුදකාරී තත්ත්වයක බැව් අමුතුවෙන් කිවයුතු නොවේ. රට ණය උගුලක සිරවී තිබෙන අතර රටේ බහුතර පොදු මහජනතාව ජීවත්වන්නේ, ඉතාමත් අපහසුතා හා දුක්කම්කටොළු මැදය. රජය ලබන වසර (2017 වසර) දුප්පත්කම තුරන් කරන වසර වශයෙන් නම් කර තිබේ. එසේ ජනතාවට කතා කියන යහපාලන රජයේ බලවතුන් ජනතාව විඳින දුක් කම්කටොළු පිළිබඳව කිසිදු තැකීමක් දක්වන බවක් පෙනෙන්නට නැත. මේ වනවිට රටේ ජනතාවගේ ආහාර පරිභෝජනය පෝෂණ පදාර්ථවලින් සපිරි තත්ත්වයක නොපවතින බව රජය තේරුම් නොගෙන සිටීම ඛේදජනකය.

අපේ ජනමාධ්‍ය හෙළිදරව් කරන තොරතුරුවලට අනුව මෙරට කාන්තාවන්ගෙන් හතරෙන් පංගුවක් (සියයට 25ක් පමණ) නිසි පෝෂණයෙන් තොරය. සමස්ත දරුවන්ගෙන් තුනෙන් එකක් මන්ද පෝෂණයෙන් (දුෂ්‍ය පෝෂ්‍යයෙන්) පෙළෙති. රටේ අලුත උපදින දරුවන්ගෙන් පහෙන් එකක් නියමිත බරින් අඩු දරුවන්ය. මෙබඳු තත්ත්වයක රටේ අති බහුතර ජනතාව පසුවනවිට යහපාලන රජය ජනතාව ගැන බෙහෙවින්ම අනුකම්පා සහගත ලෙස දුරදිග සිතා බලා තීන්දු තීරණ ගෙන ක්‍රියාත්මක කළ යුතු බොහෝ කටයුතු කිසිසේත්ම රටට හා රටේ ජනතාවට හිතකර නොවීම යහපාලන රජය පිළිබඳ පිළිකුල් සහගත අප්‍රසාදයක් නිර්මාණය වීමට හේතු වී තිබේ. මෙය රජයේ යහපාලන ඉදිරි ගමන බෙහෙවින්ම අසුබය.

රාජපක්ෂ සමයේ ලබාගත් අධික ණය සඳහා නියමිත වාරික හා පොලිය ගෙවීමට යැයි කියමින් දූෂණ බද්ද යැයි නම් කරමින් වැට් බදු ඉහළ නංවා තිබේ. එසේ ජනතාව මත බදු බර පටවන රජය මහ බැංකු බැඳුම්කර සිද්ධිය වැනි බරපතළ වංචාවක් සම්බන්ධව නම කැත කරගෙන සිටිනවාට අමතරව ආණ්ඩුවේ දූෂණ, වංචා, නාස්තිය ඉහළ නගිමින් තිබෙන්නේ හිටපු පාලකයන්ට කිසිසේත්ම නොදෙවැනි අන්දමටය. මෙයට අතිරේක මැති ඇමැතිවරුන්ගේ දුරකථන දීමනාව මාසයකට රුපියල් පනස් දාහ දක්වා වැඩිකර ගත්තේය. පාර්ලිමේන්තුවට පැමිණීමේ දීමනාව රුපියල් පන්සීයේ සිට දෙදහස් පන්සීයක් දක්වා ඉහළ නංවා ගත්තේය. මේ නිසා රජයට රුපියල් කෝටි ගණනක මුදලක් වැඩිපුර දරන්නට සිදුව තිබේ. මීට කලින් අමෙරිකානු ඩොලර් 50,000 (පනස්දාහක) සීමාවට යටත්ව තිබුණු මන්ත්‍රීවරුන්ගේ වාහන බලපත්‍රයේ අගය අමෙරිකානු ඩොලර් 62,500 (හැට දෙදහස් පන්සීයක්) දක්වා තවත් ඩොලර් 12,500කින් වැඩිකිරීම තුළින් දුප්පත් රටට සිදුවූ පාඩුව බිලියන එකක් පමණ වේ. රජයේ කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා ස්ථීර ගොඩනැගිල්ලක් හදා ගැනීමට නියමිත ඉඩමක් තිබියදී එය නොතකා හැරදමා තවමත් පාවිච්චියට නොගත් ගොඩනැගිල්ලක් සඳහා රජය කෘෂිකර්ම අමාත්‍යංශය වෙනුවෙන් කුලී පදනම යටතේ රුපියල් කෝටි දෙසීය විසිපහකට වැඩි මුදලක් නිරපරාදේ වැය කරමින් සිටී. රටේ හා ජනතාවගේ විවිධ අඩුපාඩු දුෂ්කරතා තිබියදී යහපාලන රජයේ බලවතුන් කිසිදු තෙත් පපුකමකින් තොරව දුප්පත් මහජන මුදල් මේ අන්දමින් කාබාසීනියා කරදැමීම මොනතරම් ජාතික අපරාධයක්ද?

රටේ යහපාලන ස්ථාපිත කොට සැබෑ වෙනසක් ඇති කරමින් රටත් ජනතාවත් නගා සිටුවීමට ප්‍රතිඥා දී බලයට පත් අපේ යහපාලන බලවතුන් අපට බෙදන්නට ගත් හැන්දෙන් තම තමන්ටම හිතේ හැටියට බෙදා හදාගෙන බදාගෙන කන්නට පෙළඹී සිටීම ගැන අප අපගෙන්ම දැන් විමසිය යුත්තේ, යහපාලනය අපට සැපද කියාය.

පැට්රික් ආර්. ප්‍රනාන්දු
බෙලිහුල්ඔය